ජ්‍යොතිෂ (Jyothishaya) ග්‍රහ මණ්ඩලයේ අන් ග්‍රහයන් පාලනය කරමින් මූලිකත්වය ගන්නේ රවි ග්‍රහයාය. මෙම රවි ග්‍රහයා සාමාන්‍යයෙන් දින 30 ක කාලයක් එක රාශියක් තුළ ගත කර වෙනත් රාශියක් වෙත මාරු වේ. ඒ ලෙසින් එළැඹෙන පෙබරවාරි 13 වනදා ප.ව. 03.03 ට මෙතෙක් රැඳී සිටි මකර රාශියෙන් මිදී කුම්භ රාශිය කරා රවි ග්‍රහයා ප්‍රවිෂ්ට වනු ඇත.

තමාට මිතුරු රාශියක් වන මකර රාශියෙන් මිදී රවි ග්‍රහයා මෙලෙස ගමන් කරනු ලබන්නේ එම ග්‍රහයාට සතුරු රාශියක් වෙතය. එය හේතුකොට ගෙන ඉදිරි කාලය තුළ අප රටෙහි බොහෝ ප්‍රදේශ පුරා වියළි කාලගුණයක් ඇතිවනු ඇත. එලෙසින්ම සුළඟ මගින් බෝ වන රෝග කිහිපයක්ම සීඝ්‍රයෙන් පැතිර යනු ඇත.

රවි ග්‍රහයාගේ කුම්භ රාශි ප්‍රවිෂ්ට වීම මේෂ ලග්නයට (Mesha Lagnaya) බලපාන අයුරු :
බලාපොරොත්තු නොවන ආකාරයේ මවුපියන්ගේ දේපල හිමි වීමේ වාසනාව උදා වේ. මුදල් ලැබීම් අතින් යහපත් වන අතර මුදල් වියදම් වීම ද පාලනයකින් යුතුව සිදු කරගන්නට හැකි වේ. ඒ නිසා නව ආයෝජනයන් වෙත යොමු වනු ඇත.

රවි ග්‍රහයාගේ කුම්භ රාශි ප්‍රවිෂ්ට වීම වෘෂභ ලග්නයට (Wrushabha Lagnaya) බලපාන අයුරු :
රැකියා ස්ථානය තුළ ගැටළු මතුවිය හැක. ගෘහ ජීවිතය තුළ ගැටළු මතු වී පවුලේ දියුණුව අඩාල වනු ඇත. ප්‍රේම සම්බන්ධතා පවත්වන අය අතරේ ගැටළු මතුවන අතර යුග ජීවිත ගත කරන අය තම වචනය පාලනය කරගැනීම වඩාත් යහපත් වේ.

රවි ග්‍රහයාගේ කුම්භ රාශි ප්‍රවිෂ්ට වීම මිථුන ලග්නයට (Mithuna Lagnaya) බලපාන අයුරු :
ආගමික කටයුතුවල නිරතවන්නට සිත පහළ වුවද කෙසේ හෝ ඒවා මඟ හැරී යනු ඇත. ස්ථාන සහ දේපල සම්බන්ධයෙන් ගැටළු ඇති වේ. නව දේපල මිලට ගැනීම උදෙසා ද මෙම කාලය යහපත් නොවේ.

රවි ග්‍රහයාගේ කුම්භ රාශි ප්‍රවිෂ්ට වීම කටක ලග්නයට (Kataka Lagnaya) බලපාන අයුරු :
අන් අයගේ වැරදි ඔබ මතින් පිටව යා හැක. ඒ නිසා ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධයෙනුත්, රැකියා ජීවිතයේ කටයුතු සම්බන්ධයෙනුත් ඔබ පරික්ෂාකාරී වන්න. ලඟම හිතවතෙකු ඔබ හා අමනාප විය හැකි බව පෙන්නුම් කරන නිසා සමාජ ඇසුරේදී පරිස්සම් වන්න.

රවි ග්‍රහයාගේ කුම්භ රාශි ප්‍රවිෂ්ට වීම සිංහ ලග්නයට (Sinha Lagnaya) බලපාන අයුරු :
තරග විභාග කටයුතු තුළින් නිසි ජයග්‍රහණ උදා කරගන්නට අපොහොසත් වේ. නොකළ වැරදිවලට චෝදනා එල්ල විය හැකි බව පෙන්නුම් කරන නිසා සමාජ ඇසුරේදී පරිස්සම් වන්න. ගර්භණී කාන්තාවන් මෙම කාලයේදී වඩාත් ආරක්ෂා විය යුතු වේ.

රවි ග්‍රහයාගේ කුම්භ රාශි ප්‍රවිෂ්ට වීම කන්‍යා ලග්නයට (Kanya Lagnaya) බලපාන අයුරු :
ශාරීරික වශයෙන් පීඩා ඇතිකළ රෝග තත්ත්වයන් සුව වී යනු ඇත. විවාහය සම්බන්ධ කටයුතුවලට මෙය එතරම් සුබ කාලයක් නොවේ. යුග ජීවිතය තුළ සමඟිය ආරක්ෂා කරගන්නට නම් වචන භාවිතයේදී දෙවරක් සිතිය යුතුයි.

රවි ග්‍රහයාගේ කුම්භ රාශි ප්‍රවිෂ්ට වීම තුලා ලග්නයට (Thula Lagnaya) බලපාන අයුරු :
දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණේ. අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධව රාජකාරි කටයුතු කරන අයට එතරම් යහපත් කාලයක් නොවේ. උගුර, කන, නාසය ආශ්‍රිත වේදනා, කැක්කුම් ඇතිවිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

රවි ග්‍රහයාගේ කුම්භ රාශි ප්‍රවිෂ්ට වීම වෘශ්චික ලග්නයට (Wrushchika Lagnaya) බලපාන අයුරු :
විවාහ අපේක්ෂාවෙන් සිටි අයට යහපත් කාලයක් උදා වේ. සුදුසු විවාහ යෝජනාවන් ස්ථීරත්වයට පත්වනු ඇත. ස්වයං රැකියා කටයුතු සාර්ථක කරගන්නට හැකි වේ. සෞඛ්‍ය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න.

රවි ග්‍රහයාගේ කුම්භ රාශි ප්‍රවිෂ්ට වීම ධනු ලග්නයට (Danu Lagnaya) බලපාන අයුරු :
විවාහ සම්බන්ධ කටයුතුවලට එතරම් යහපත් නොවේ. නිතර ගැටළු මතු වේ. යුග ජීවිතය තුළ ද සතුට පලා යනු ඇත. තම මව වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට සිදු වේ.

රවි ග්‍රහයාගේ කුම්භ රාශි ප්‍රවිෂ්ට වීම මකර ලග්නයට (Makara Lagnaya) බලපාන අයුරු :
කලක් පුරා සිතෙහි පැවති වේදනාවන් පහව යනු ඇත. වැඩිහිටි පැසසුම් නිසැකව හිමි වනු ඇත. දුර ගමන්හි යෙදීමට අවකාශය උදා වේ. දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින අය එම බලාපොරොත්තු තව දුරටත් කල්පසු කිරීම වඩාත් සුදුසු වේ.

රවි ග්‍රහයාගේ කුම්භ රාශි ප්‍රවිෂ්ට වීම කුම්භ ලග්නයට (Kumbha Lagnaya) බලපාන අයුරු :
විවාහ කටයුතු සඳහා යහපත් වේ. සිතෙහි සතුට, සැනසුම වර්ධනය වේ. ස්වයං රැකියා කටයුතුවල කිසියම් වූ පසු බෑමක් උදා කරයි. නව ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නට නම් මෙම කාලය එතරම් යහපත් නොවේ.

රවි ග්‍රහයාගේ කුම්භ රාශි ප්‍රවිෂ්ට වීම මීන ලග්නයට (Meena Lagnaya) බලපාන අයුරු :
විදෙස්ගත වීම උදෙසා තැබූ බලාපොරොත්තු ඉටු කරගත හැකි වේ. අධ්‍යාපන කටයුතුවල නියැලෙන්නන්ට
නව දැනුම උපයන මාර්ග වෙත ප්‍රවිෂ්ට වීමට හැකි වේ. දරු සම්පත් සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තු ඉටු කරගන්නට හැකි වනු ඇත.

Share this article