දේහ ලක්ෂණ විද්‍යාවට අනුව විවිධ අනාවැකි පල කළ හැක. ඒ අනුව නවග්‍රහ මණ්ඩලයට අනුව වෙන් වූ යුවතියකගේ මුහුණේ හැඩය අනුව ඇයට හිමිවනු ලබන ආත්මීය සහකරු මොනවගේද යන්න දැනගත හැකිය.

කුජ ග්‍රහයාට අයත් චතුරශ්‍රාකාර මුහුණ

හිස්‌ මුදුන ප්‍රදේශය සහ නිකට ප්‍රදේශය එක සමානව පළල්ව හතරැස්‌ව හැඩයෙන් යුක්‌ත මුහුණ කුජ ග්‍රහයාට හිමි පඨවි භූතයට අයත්ය. පෞරුෂත්වය, එඩිතර කම, නිර්භීත බව, ඉදිරිපත් වීමේ ගතිය, සටනට කැමති බව මෙවන් යුවතියන් පෙන්නුම් කරයි. අනුන්ගේ අවවාද, උපදෙස්‌ පිළිගැනීමට කැමති නැත. තම අදහස්‌ අනුවම කටයුතු කරයි.

කලාත්මක අදහස්‌ සහිත ආත්මීය සහකරුවන් ඔබට මුණ ගැසේ. මොවුන් දැඩිව, කැපවී වැඩ කිරීමට දක්ෂය. ඔබට පණ මෙන් ආදරය කරයි.

රවි ග්‍රහයාට අයත් ත්‍රිකෝණාකාර මුහුණ

හිස්‌ මුදුන සිහින්ව නිකට ප්‍රදේශයට ක්‍රමයෙන් මහත්ව පිහිටි මුහුණ රවි සිටි අග්නි භූතයට අයත්ය. නායකත්වය, අභිමානවත් බව, අන්‍යයන් තම මතයට යටත් කර ගැනීමේ හැකියාව මෙම අයට උපතින්ම පිහිටා ඇත. නිවසේ පාලනය, ගම් ප්‍රදේශයේ හෝ සමාජයේ මූලිකත්වය දැරීමට මෙම යුවතියන් ඉතා දක්‍ෂය.

උස මහත ශක්‌තිමත් ශරීරයක්‌ හිමි අයෙකු ඔබේ සහකරු වේ. බොහෝ සෙයින් නීරෝගිය. ආහාරපාන ගැනීමේදී බොහෝ විමසිලිමත් වේ. නීරෝගී වීමට ප්‍රධාන හේතුව එයයි. තම අරමුණ ඉටුකර ගැනීම සඳහා තම සතුරන් සමඟ වුවද මිතුරුවීමට කැමති වේ. අවංකව ආදරය කරයි. දීර්ඝායුෂ විඳියි.

සෙනසුරු ග්‍රහයාට අයත් වයස්‌ගත පෙනුමැති මුහුණ

තම වයසට වඩා වැඩිමහල් පෙනුමක්‌ මෙම මුහුණේ පෙන්නුම් කරයි. සෙනසුරුට හිමි වායෝ භූතයට අයත්ය. ප්‍රියමනාප ගතිය නැත. බොහෝවිට දුක්‌මුසු බව, නොරිස්‌සුම් බව, නපුරු බව පෙන්නුම් කරයි. ලස්‌සනට සිටීමට, පිරිසිදු ලෙස ඇඳුම් ඇඳීමට උවමනාවක්‌ මෙවන් යුවතින්ට නැත. කලුපාට, තද නිල්පාට, දුඹුරු පාට ඇඳුම්වලට වැඩියෙන් ප්‍රිය කරයි.

ඉතාම චාම් ගතිගුණ ඇති සරල පුද්ගලයෙකු ඔබේ සහකරු බවට පත් වේ. නිතර වැඩෙහි යෙදේ. විවේකය අඩුය. මුදල් ඉපයීමට දක්‍ෂය. මෙලොවට වඩා පරලොව ගැන සිතයි. ලෞකික ජීවිතයේ සැප සම්පත්වලට වැඩි ආශාවක්‌ නැත. අවංකය. ඒ නිසා කිසිමවිටෙක ඔබව රැවටීමට උත්සාහ නොදරයි.

බුධ ග්‍රහයාට අයත් ත්‍රිකෝණාකාර මුහුණ

හිස්‌ මුදුන පළල්ව නිකට ප්‍රදේශය සිහින්ව ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්‌ත මුහුණ බුධ ග්‍රහයාට හිමි වේ. මෙය වායෝ භූතයට අයත්ය. බුද්ධිමත් යුවතියකි. නුවණින් කල්පනා කර බලා කටයුතු කරයි. තමා ලඟ සිටින, තමා ඇසුරු කරන පුද්ගලයන් ගැන සිතමින් ඔවුන් අනුව කටයුතු කිරීමට උත්සාහ ගනියි.

ඔබගේ ක්‍රියාකලාපය අනුගමනය කරමින් ඔබගේ වැඩකටයුතුවලට පූර්ණ සහයෝගය ලබාදෙන සහකරුවෙකු ලැබේ. ඔබ යහපත් කෙනෙකු නම්, ඔබගේ යහපත් වැඩවලට උදව් දෙන අතර, අයහපත් නම් ඔබගේ නරක වැඩවලටද සහයෝගය දීමට මැලි නොවේ. කරුණාවන්තය. කවට කතා කීමට, සිත වසඟවන ලෙස කතා කිරිමට හා ලිවීමට, නිවේදන කටයුතුවලටද සමාජ දක්‍ෂතා ඇත.

සිකුරු ග්‍රහයාට අයත් විචිත්‍රාකාර මුහුණ

ඉතා ප්‍රියමනාප වූ පැහැපත් මුහුණකි. බොහෝවිට හිසකෙස්‌ රැලි සහිතය. සිකුරු හිමි ජල භූතයට අයත්ය. ප්‍රියමනාප වූ දෙතොල් මනාව පිහිටා ඇත. දුටුවන්ගේ සිත් වසඟයට ගැනීමට හැකි සිනහවක්‌ ඇත. ප්‍රිය වචන කතා කිරීමේ දක්‍ෂතාව ඇත. බොහෝ ඉක්‌මනින් සන්සුන් වේ. අපක්‍ෂපාතීව සාධාරණය ඉටුකිරීමට හැකි හැම විටම උත්සාහ දරයි. ලස්‌සන ඇඳුම්වලට සුවඳ වර්ගවලට ප්‍රිය කරයි.

ඔබගේ ආත්මීය සහකරු තම වැඩකටයුතු ක්‍රමානුකූල පිළිවෙළට ඉටුකරන අයෙකි. ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක්‌ පරිත්‍යාග කරයි. වයසට පත් වුවද ඒ ආදරයේ වෙනසක්‌ නොමැත. රූපලාවන්‍ය ශිල්පය, සුවඳ විලවුන් රෙදිපිළි ව්‍යාපාර, කලා අංශයේ රැකියා, මල් වගාව මේ අය වෘත්තීය ලෙස තෝරාගනී.

සඳු ග්‍රහයාට අයත් වෘත්තාකාර මුහුණ

පුන්සඳ මෙන් පිරුණු මුහුණක්‌ ඇත. සඳු හිමි ජල භුතයට අයත්ය. මෙම හැඩයේ මුහුණක් හිමි යුවතියන්ට ප්‍රියමනාප ගතිය ඇත. නිතර වෙනස්‌වන සුළු ගතිගුණ ඇති, කාරුණික හදවක්‌ හිමිය. අනුන්ට උදව් උපකාර කිරීමට පසුබට නොවේ. මධ්‍යම හෝ කුඩා ප්‍රමාණයේ හෝ ශරීරයක්‌ හිමිය. සම පැහැපත්ය. සියුමැලිය, නහය සිහින්ව උස්‌ව පිහිටා ඇත.

ඔබට හිමිවන ආත්මීය සහකරු වෙහෙස මහන්සි වී කටයුතු කරන අයෙකි. මොළය වෙහෙසා කරන වැඩ කටයුතුවලට දක්‍ෂය. සීතල ආහාර පාන, සීතල දේශගුණය ඔහුට අගුණ විය හැකිය. ඔබට ඉතා හිතවත්ව, ප්‍රධානත්වය දී කීකරුව ජීවත්වීමට සිතයි.

ගුරු ග්‍රහයාට අයත් දිගටි මුහුණ

හිස මුහුණ සිට නිකට දක්‌වා එක සමාන පළලකින් යුක්‌ත දිගටි මුහුණක්‌ ඇත. ගුරු හිමි අකාශ භූතයට අයත්ය. මෙවන් මුහුණක් හිමි යුවතියකගේ හිස කෙස්‌ සිනිඳුය. උස්‌ මහත්වූ සිරුරක්‌ ඇත. මැදි වයස ඉක්‌මවන විට, සිරුර තරබාරු වේ. ශරීරය වෙහෙස නොවන ගුරු සේවය, උපදේශක සේවය වැනි රැකියාවලට කැමතිය.

ඔබගේ ආත්මීය සහකරු බණ භාවනා කිරිමට, ආගමික කටයුතුවලට සමාජ සේවයට ඉතා ලැදි අයෙකි. ඔබ අයහපත් කෙනෙකු වුවද කෙසේ හෝ යහපත් පැත්තට නැඹුරු කර ගැනීමට ඔහු උත්සාහ දරයි. බොහෝ ආදරණීය අයෙකි.

Share this article